එන්න හැකියාවන් පෙන්වන්න..

Thursday, January 28, 2016

ලස්සන..

ආදරණීය කළු...
මම නුඔට
අවලස්සන යයි
නොකියමි...
මන්ද
වැහි කළුවත් කළුය...
නුඔ මෙන්ම රළුය...
එහෙත්
එය ලොව
සරසනු විනා...
අවලස්සන කරන්නේ නැත...
අර පාට
මේ පාට කියා
ලොව නසන්නේද නැත..
ඉතින් නුඹ තරම්
ලස්සනක්
වෙන කොයින්ද...
පවසන්න...

Wednesday, January 27, 2016

සතුට වෙත ලියමි..

කදුලට සමු දී
ඉවත බලන විට...
හදවත සනසන
අපූරු කවිකම...
බෙහෙතට නොව
මුදු හිත සනසන්නට...
හසරැල්ලක නැග
මුවගට එනවිට..
අසනෙමි නුඹගෙන්
හඩගා මෙලෙසට...
ලස්සන නුඹ මගෙ
වෙනවද සදහට...???



Sunday, January 24, 2016

තාරකාවක්..

සිහින් සළු ගෙන
නෙලා දුන් වත...
ඈත අහසේ
නිසල භවනක...
සදුට ළං වී
සිනහ මුවගින්...
ඔහුට කවි පද
ලියන අන්දම...

නිහඩ බව පිරි
සොදුරු අරණක...
කිමිද ඉපදී
අහස අභිමුව...
බලා සිටියෙමි
නෙතු විදා මම..
සදුට පිදු නුඹෙ
නොදුටු ආලය...

විඩාබර මගෙ
සැලෙන නෙතු යට...
කවි සිතුම් හද
මැවෙන අන්දම..
බලා සිටියෙමි
මවිතයෙන් නුඹ..
එනතුරා යළි
තරු සිතුම් කව...



Wednesday, January 20, 2016

සිතට වහල් වීමි...

අදුරු කුටියකි
හද දමා ගිය..
මුවග හසරැල්
සලිත වූ..

වියලි අහසකි
ඉරි තලා ගිය...
ලොවට හොරැහින්
මිලින වූ...

කදුළු බිදුවකි
නෙතින් පැන ගිය..
අකාලේ සැඩ
සුළග වූ...

මං මුලාවකි...
දැහැන බිද ගිය...
අහිමි සිතකට
වහල් වූ..





Tuesday, January 19, 2016

යෙහෙළිය..

වියළි සුළගට
ඉරි තලා ගිය...
කොපුල තෙත් වී
සිනාසෙන නුඹ..
අපේ කාලේ
වීරවරියකි....
දිවිය ගෙන යන
අත නොපා හෙට..

පාර අයිනක
පයට පෑගෙන...
දනන් ඔබ මොබ
සරන උදයක...
ඇයදුවා නුඹ
එකක් විස්සයි..
හදුන් කූරක්
රැගෙන යන ලෙස...

නොපෙනෙනා නුඹෙ
නෙතු පියන් යට...
තිබෙන හද ගිනි
නිවාලන්නට...
නොහැක මට
මම දනිමි ඒ වග...
දෙන්න මට නුඹෙ
සුවද මුදලට...












Monday, January 18, 2016

නුඹ නොවන මම

අල්ලන්න
බැරි දුරක..
නුඹ ඇවිත් 
හිත් කොනට..
බලන හැටි මා දෑස..
දැනෙනවා
පෙර සේම...

හංගන්න 
නෙතු කදුළු...
සොයමි මා
සත් සයුරු...
නොබලන්න
මෙවිලසට...
හැගුම් ඇත
නොවිසදුණු..

අහස නුඔ
මට දුරයි...
පොළොව නුඹ
සනසවයි..
සමුගන්න අවසරයි..
මම නුඹේ
ක්ෂිතිජයයි...


Sunday, January 17, 2016

නිවී යමි මම...

හිරි වැටී ඇත
මගේ කවි සිත..
පෙලයි මා ගත
රිදුම් දී...

සොයමි මා තව
හද ගැඹුරු තත..
නපුරු සිත යට
පහන වී...

සුළග සැඩ නැත
උඩු ගමන් යත..
නිවෙනු ඇත සිල
මහණ වී...

සොයනෙපා මා
යලිත් කව තුල...
නිවී යමි මම
දැවි දැවී...






Thursday, January 14, 2016

අද..

උපතක්
මරණයක්
නැති...

කාලය නම් වූ
අමරණීය නුඹ...

යළිත්
මා හැර...

හෙට දිනට
යන විට...

මම ඔහු සමග
තනි වෙමි...

ඔහු මගේ
අද දිනයි..

හෙටක් නැති ඔහුත්
නුඔ අසල
අසරණයි...




Tuesday, January 12, 2016

මකුළු දැල..

වියා තිබුණත්
               හරියට...
එක් කොසු
                පහරකින්..
සියල්ල
                 ව්‍යර්ථක විය..

සෙනසුරු..

මහත් කන්නලව් මැද...
ගණ,විෂ්ණු,ශිව..
එකී මෙකී සියලු දෙවිවරු....

එක් ඇසිල්ලකදී..
                බැල්ම දුන් සද...
සෙනසුරා දිවූ සැටි..
                ජන්ම පතකින්...
අපූරුය...
පුදුමය..
විශ්මයජනකය...

සිතේ අපලය..
            එතැනින්ම නිමා විය...
සෙනසුරු පිටින්...
              සදහට!


         

Sunday, January 10, 2016

මට මා ද අහිමි විය...

ඉල්ලුවත් ජීවිතය
ලද මතක ඉසිඹුවක...
හමුවුණා දුර ඈත
සුසුම්ලනු නුඹ දුකට...

පණිවිඩය ලත් සැණක
පියඹුවා අනියතක....
හමුවන්න ආදරෙන්
මම නොවන මම සබද...

එක් වුවත් වෙන් වුමක
තනි වු සිත් අන්දරය...
කියයි තව කවි පබද
සෝ සුසුම් කදුළු මැද...

හිරිවැටුණු සිත් අතර
අතර මග සිර වීද...
සොයමි මම මගෙ සිතම
මට මා ද අහිමි ලෙස...



Thursday, January 7, 2016

සිතුවිල්ල..

නිවෙන දැල්වෙන
ම හද අභියස....
පිපෙන පරවෙන
සුපෙම් සදවත....

රිදෙන සුව වෙන
කැලුම් දහසක...
අඩන හිනැහෙන
නොහිමි නයනය...

වැටෙන නොවැටෙන
කදුලු පිසගෙන...
හමන නොහමන
බිදුණු සිහිනය..

              සිතුවිල්ල!
                              ඒ නුඹමද?

Wednesday, January 6, 2016

අම්මාගේ ආදරය...

සිව් බඹ විහරණ
වෑහෙන නුඹෙ වත..
නැතිමුත් මා ලග
සිනහ නගන්නට...
සිහිනෙන් මා අද
සොයනවා උණුහුම...
අම්මේ නුඹ දුන්
පෙර සංසාරෙක...

නොමියෙන මතකය
නුඹෙ ගුණ සිසිලස...
අතරින් විහිදෙන
මුදු ගුණ හදවත..
දන්නෙමි නුඹ අද
ළග සිටියා නම්...
මගෙ පොඩි පුතු යයි
මා අමතන බව...

තනිකම තනියට
තුරුලු වුණත් මට...
පතනෙමි මම ඔබ
බෝසත් බුදු බව...
කවරකටත් නොව
මතු සංසාරෙක...
නිවන් දකින්නට
ඔබෙ ගුණ අභියස...


Sunday, January 3, 2016

ප්‍රාර්ථනා...

ඉකිබිදින යාමයක
සහනයක් සොයාගෙන....

දුක පතන ඉසව්වක
සිනහවක් පුරෝගෙන...

නෙත පිරෙන සිහිනයක
නොපැතුමක් දරාගෙන...

අද මියෙන දිවි මගක
හෙට දිනක් අතින්ගෙන...

පියඹන්න ඉදිරියටම...!!!

                             "එයයි මගේ පැතුම...!"

ලෝකය..

දැක්කද?
අම්මෙකුගෙ ඇස් වල
දරු දුක?

අර අතන..ඈත කෙලවර...

පාර අයිනෙ
හිගමන් ඉල්ලනවා...!

නැතිබැරි කම නිසාම නෙවෙයි...
බඩගින්නට!
අර අහිංසක
දරු පැටියව
               ජීවත් කරවන්න...

ඔව්...තවත් ජීවිතයක්
                        ජීවත් කරවන්න...!
ඔයා දෙන
එක රුපියලත්...
ලෝකෙට
ලොකු පාඩමක්
                       කියලා දේවි...

Saturday, January 2, 2016

"A/එල්"

වැඩ කරපිය!
ගණං හදපිය
                 මදිවට...

ටියුෂන් පල!
ෆේල් නොවියං
                  යුගයක්...

මැරෙන ටයිපට
              ප්‍රතිඵල නොමැති
අපේ කාලයේ
              විභාග කලාව...!

වෙනස

ජාති ජරා ව්‍යාධි මරණ...
සෝක පරිදේව...
දුක්ඛ දෝමනස්ස...

පොඩි පුතේ???
ගනිං ඔය බණ පොත මෙහෙට...!

ඒක අම්ම දුන්නනෙ ආච්චි..!!

අර කාටද මයෙ පුතේ?

ගිය ඉරිදා..පෝය දවසෙ
මෙහෙට ආපු
බෝතල් පත්තර කාරයෙක්ට
විකුණන්න කියලා...

සල්ලි වලට!!!

සදවත...

අහසින් වැටුණු නුඹ යයි
කාටවත් නොකීවෙමි...

පොලොවෙන් දකින නුඔ යයි
කාටවත් නොකීවෙමි...

සිහිනෙන් දකින නුඔ යයි
කාටවත් නොකීවෙමි...

යලිත් අහසට වඩින තුරු
පෝය දවසට
             
                   නුඹ සුදට...

Friday, January 1, 2016

අතීතය..

විටෙක සොදුරු වූ
විටෙක රුදුරු වූ...

මතක මග තුල...

ආ ගිය තැන්
වග තුග සොයා...

පියවරෙන් පියවර
පසුපසට යන...

ඒත් බැරි තැන
හඹාගෙන යන...

සැනසුම ගෙනෙන
සතුට නොපතන...

නිසි තැන නොලබන
කාලයේ කතා පොත..

           -නිමා වූ අතීතය-

ජීවිතය...

වැටීම්...
නැගිටීම්...
යාම්..
ඊම්..

පෙට්ටියක බහා..
සීල් තබා ඇත,
විකිණීම සදහා..

                      මෙහි...!!!!

අප්පච්චි

ඉරුණු සරමට,
පිරුණු බැනියම...

කොහෙන්ද අප්පච්චි???
ලොකු පුතයි ගෙනාවෙ...!

සිනාසෙයි ඔහු,
පියෙකු විලසින්...
හැදුවාට පුතෙක්,
රටට ණය නැති...

අදත් හෙටත් මතුවටත් !